ඥාණසාර හිමිටත් ගමේ මිනිහාටත් නීතිය එකයි


gnanasara-thero

ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළ දී බැණ තර්ජනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ බරපතල වැඩ ඇතිව සය මාසයක සිර දඬුවම් නියම විය.

එම සිරදඬුවම් නියමවීමට අදාළ සිදුවීම වූයේ 2016 ජනවාරි 26 වැනි දා ය. ඒ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැමිණිලි විභාගයේදීය. ඒ වන විට ඊට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සැකකරුවන් පිරිසක් රිමාන්ඩ් භාරයේ පසුවූහ.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වන අවදියේ ලංකා ඊනිවුස් මාධ්‍යවේදියෙකි. ඊට පෙර සියරට පුවත්පතේ කර්තෘවරයකු ලෙස ද, යුක්තිය පුවත්පතේ හා ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කර තිබේ.  ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත ඔහු සතු විය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියකුට යම් මතයක් දැරීමේ, සිතීමේ හා හෘදය සාක්ෂියේ නිදහසට හිමිකමක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහසට, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම හා අධිකරණ රාජකාරිවලට බාධා කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මාධ්‍ය නිදහසකට කළ ප්‍රහාරයක් විය. ඥාණසාර හිමි සන්ධ්‍යා එක්නැළිගොඩට බැණ වැදී ඇත්තේ ‘තොගේ මිනිහා කොටියෙක්‘ කියමිනි.

එක්නැළිගොඩ මහතා අතුරුදන් වූ අවධියේ ‘එක්නැලිගොඩ කොටියෙක්‘ යැයි කිසිවකු චෝදනා කළේ නැත. එක්නැළිගොඩ විදේශ රටක සිටිනා බවට හිටපු නීතිපතිවරයකු සහ දේශපාලනඥයන් කිහිප දෙනකු කියා තිබුණ ද එක්නැලිගොඩ කොටියකුයැයි කිසිවකු කියා නොතිබිණි.

ඔහු එල්ටීටීඊයට සම්බන්ධ යැයි පිරිසක් කියන්නට ගත්තේ අතුරුදන් කිරීමට සැකපිට යුද හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත් පසුවය. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ බවට අද වන තුරු රහස් පොලිසිය හෝ අනාවරණය කර නැත. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ බව සනාථ කෙරෙන කිසිදු සාක්කියක් චෝදනා කරන පිරිස් ද ඉදිරිපත් කර නැත.

එලෙස තිබිය දී එක්නැලිගොඩ මාධ්‍යවේදියා කොටියකු බව කියමින් අධිකරණ භූමියේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම බරපතල තත්ත්වක් මෙන්ම භික්ෂූත්වයට ද නිගා දෙන්නකි.

හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති නම් කළ යුත්තේ නීතිය අතට ගැනීම නොව නඩු විභාගයට මුහුණ දි තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමය.

අධිකරණයේ දී කිඹුහුමක් ඇරි පුද්ගලයාට මෙන්ම අධිකරණයක දී පුද්ගලයකුට තර්ජනය කරන පුද්ගලයාට ද නීතිය පොදුය. නීතිය පසඳලන ආයතනයක් තුළ දී ම මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කර බැණ වැදීම  එම නිසා සුළුකොට තැකිය නොහැකිය.

මෙය එක්පුද්ගලයකුට සිදු කළ බලපෑමක් නොව සමස්ථ මාධ්‍ය සමාජයටම අනියමින් කළ තර්ජනයක් හා  අපහාසයකි.  මෙම සිද්ධියට හුදකලා සිද්ධියක් සේ සලකා කටයුතු කළහොත් ඉදිරියේ දී මාධ්‍ය ආයතනයකට කඩා වැදී හෝ මහ මගදී හෝ නිවසක දී තවත් මාධ්‍යවේදියකුට හෝ පවුලේ සාමාජිකයකුට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. මෙම සිද්ධිය පිළිබඳ තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධාන එම වකවානුවේ ඉල්ලා සිටියේ ඒ නිසාය.

කෙසේ වෙතත් අද ඊට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.  නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ  ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් අධිකරණය අමතමින් මෙසේ කීවේය.

‘මේ නීතීයේ වැරදි අඩුපාඩු තිබිය හැකියි. වැරදි තිබියහැකියි. මේක සුද්දගේ නීතීය වෙන්නත් පළුවන්. ඒත් දැන් මේක අපේ රටේ ස්ථාපිත වෙලා තියෙන නීතීයයි. එලෙස නීතීය ස්ථාපිත වී ඇති මේ අධිකරණ ශාලාව තුළට පැමිණ නඩුකාරයාට කෑගහලා, සාක්කිකාරයන්ට කෑගහලා යනවා නම් මෙකක්ද මෙකේ තත්වය?  සියල්ලට පෙර යම් විනයක් තිබිය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන තත්වයට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි.

ලොව්තුරා ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසා වදාලේත් විනය නැති දාට ශාසනය විනාශ බවයි.

මේ උසාවිය ඉදිරිපිටට ගමේ චණ්ඩියෙන් වගේ ඇවිත් හයිරං දානවා නම් මේ උසාවියේ තත්වය මොකක්ද? අධිකරණ පද්ධතියේ පිහිට සොයා ගෙන පැමිණි කාන්තාවකට උසාවිය ඉස්සරහාදීම තර්ජනය කරනවා නම්  මෙය සරලව හිතන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මෙය ඉතාම බරපතල තත්වයක්. මෙවැනි වරදක් කළ මේ හිමිනමට එළියට අච්චු කළොත් හෙට සරමක් ඇඳගෙන මේ උසාවිය ඉස්සරහට එන කෙනෙක් මේ උසාවියට බැණ වැදුනොත් ඔහුට දඬුවමක් දිය හැකිද? ඔහුත් කියයි අර හාමුරුවන්ට එළියට අච්චු කළ නිසා මටත් එළියට අච්චු කරන්න කියලා. එය වැදි පුර්වාදර්ශයක් වෙනවා.

උසාවිය ඇතුළේ දුරකථනය නාද වු විට කූඩුවේ දාන්නේ ඇයි? කමිසයේ බොත්ම දාගෙන ආවේ නැහැ කියලා කූඩුවේ දාන්නේ ඇයි? උසාවියේ ගෞරවය ආරක්‍ෂා කර ගැනීමටයි එහෙම කරන්නේ උසාවියට පැමිණෙන අයගේ විනය හදන්නයි එහෙම කරන්නේ. එවැනි තත්වයක් තිබියදී අධිකරණය ඉදිරිපිටදීම අධිකරණයේ පිහිට සොයාගෙන පැමිණී කාන්තාවකට තර්ජනය කළ අයෙකුට ලිහිල්ව දඬුවම් නියම කරනවා නම් මේ උසාවියේ තත්වයට එහි විනයට වෙන්නේ කුමක්ද?‘ යනුවෙන් රජයේ නීතීඥයරයා ප්‍රශ්න කළේය.

විත්තිකාර රහිමියන්ට එක් චෝදනාවකට මාස 06 බැගින් චෝදනා දෙකට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවම් නියම විය. එම සිර දඬවම් දෙක මාස හයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට ද නියම විය.   ඥාණසාර හිමිට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබුණු අතර එක් චෝදනාවකට රුපියල් 1,500/- බැගින් චෝදනා දෙකට රුපියල් 3,000/-ක දඩ නියම කළේය.

මෙම සිද්ධියෙන් අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට රුපියල් 50,000/-ක වන්දියක් ගෙවීමටද මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*