දේශපාලඥයින්ගේ නොමිනිස් ක්‍රියාවක් නිසාවෙන් පොදු ක්‍රීඩාංගණයකට කණ කොකා හඩයි


GROUND

පසුගිය රජය සමයේ කල්පිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුළු තවත් ආධාරකරුවන් පිරිසක් විසින්  නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත්කරන ලද ගොඩනැගිලි සුන්බුන් ඇතුළු කොන්ක්‍රීට් ගල් කැබිලි රැගෙන විත් නොරොච්චෝල, කොයියාවාඩිය, සංජිතාවත්ත පොදු ක්‍රිඩාංගණයට බැහැර කිරීම හේතුවෙන්  ක්‍රීඩකයින්ට ක්‍රිඩා කිරීමට නොහැකි අයුරින් ක්‍රිඩා පිටිය අවහිර වී ඇති බවට ජනතාව චෝදනා නගති.

එවකට කල්පිටිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල සභාපතිවරයෙකු වූ එම්.එච්. මොහොමඩ් මහතා හා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කල එස්.එච්.ඒ. වහාබ් මහතා ද, එක්ව අක්කර 6කින් සමන්විත භූමියක් ක්‍රිඩාංගණයකට සරිලන ලෙස 1991 වර්ෂයේ සකසා ප්‍රදේශයේ තරුණයින්ගේ ක්‍රිඩා කෞෂල්‍ය වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කර ජනතා අයිතියට පත් කර දී තිබු බව කියති.

ඒ අනුව මෙම සංජිතාවත්ත පොදු ක්‍රිඩාංගණය පාපන්දු, ක්‍රිකට්, අත් පන්දු, එල්ලේ යන ක්‍රිඩාවන් සදහා උපයෝගි කරගෙන තිබුණ බවත්, මෙම ක්‍රීඩාංගණය පොලිස්ටර් පොදු ක්‍රිඩාංගණය නමින් නම් කර තිබුන බවද, කියති.

කලින් කලට දේශපාලන පිල් මාරුවත් සමග මෙමක්‍රිඩාංගණයේ නවීකරණ කටයුතු සාමාන්‍ය මට්ටමෙන් සිදුව තිබූ බවත්, මුස්ලිම් ජාතිකයින්ගේ විශේෂ උත්සව සමයන් වලදී යතුරු පැදි ධාවන තරග, තුරග තරග, තිරික්කල් තරග ඇතුළු තවත් තරග රැසක් මෙම ක්‍රීඩාංගණය මධ්‍යයේ පැවැත්වූ බව ජනතාව පවසති.

කෙසේ නමුත් මෙම ක්‍රිඩාංගණයට මේ වන විට උදාවී ඇති කල දශාව අයහපත්ය.

එයට හේතු වී ඇත්තේ පසු ගිය රජය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල කල්පිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු   සභාපතිවරයාගේ අනු දැණුම මත නොරොච්චෝල ලක් විජය බලාගාරයෙන් ඉතවත දමන ලද කොන්ක්‍රීට් ගොඩනැගිලි සුන්බුන් රැගෙනවිත් මෙම ක්‍රීඩාංගණයටබැහැර කිරීම නිසාවෙන් මේ වන විට එකී පොදු ක්‍රීඩාංගනය අබිලි ද්‍රව්‍ය ගබඩා කර තැබීමේ ස්ථානයක්  බවට වසර ගණනාවක සිට  පත්ව තිබීමයි.

මේ හේතුව නිසාවෙන්  ක්‍රිඩාංගණයට යාබදව පිහිටා ඇති  ගම්මානයටද අත්ව ඇත්තේ සෝචනීය ඉරණමකි. කලපුවේ ඇති වන වඩ දිය බාදිය අවස්ථාවන් වලදී ඇති වන ජල ගැලීම් මෙම ගොඩනැගිලි සුන්බුන් අතර රැදී තිබීමෙන් නිවාස වලට පවා ජලය නිරන්තරයෙන් ගලා එන බවට නිවැසියන් මැසිවිලි නගති.

පරිසරයටද සිදුව ඇති විනාශය බරපතලය. මේ හේතුව නිසාවෙන් මදුරු උවදුරු, මැසි උවදුරු වැනි බෝවීමේ රෝග ප්‍රවණාවයක් දක්නට ලැබෙන බව ජනතාව කියති.

මේ හේතුව නිසාවෙන් උග්‍ර පාරිසරික ගැටළු රැසකින් ජනතාව දැඩි ලෙස පීඩාවට ලක්ව තිබියදීත් බලධාරින් මුණිවත රැකීම පුදුමය දනවන්නක්ව තිබීම තවත් බරපතලතම ගැටළුවක් බවයි ජනතාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී ඩබ්ලිව්. නිහාල් මහතා  පවසන්නේ මෙවන්නකි.

 අපි එක අතකින් කරුමක්කාරයො පිරිසක් කීවොත් වැරදි නැහැමොකද වෙන පැති වල  ඉන්න දේශපාලඥයො ගමට ඒ ප්‍රදේශයට සංවර්ධනයක් ගෙනල්ලා ජනතාවගේ යටිතල පහසුකම් හදද්දි. අපේ පැත්තෙ ඉන්න හොර දේශපාලුවො ටික එකතු වෙලා උන්ගෙ සාක්කු පුරවා ගන්න උන් ටික කරන්නෙ කොහෙවත් කරඩලා දාන ගල් ගොඩක් ගෙනල්ලා රත්තරං ටිකට තිබ්බ ක්‍රීඩා පිටිය කාලා දැම්ම එකයි. එදා කෙරුවෙත් අපිව රවට්ටපු එක අද කරන්නෙත් ඒකමයි. එදා මේ හොරු ටික අපිට කිව්වෙ ගල් දාන්නෙ ක්‍රිඩා පිටිය හදන්න කියලා අවසානෙ අද ළමයෙකුට බෝලයක් ගහන්න විදියක් නැහැ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී එම්.එම්. තරංග ලක්මාල් මහතා  පවසන්නේ මෙවන්නකි.

කලින් මේ ක්‍රීඩා පිටියේ හොදට දුවලා පැනලා සෙල්ලම් කෙරුවා අපේ දරුපැටව් ටික අද ඒ තත්ත්වය අපේ දරුවන්ට මේ හොර දේශපාලවො ටික අහිමිකරලා ඉවරයි. මේ හොරු ටික ඇවිල්ලා අපිට දුන්නෙ බොරු පොරොන්දුවක් මුලින්ම කීවෙ මේ පාර හදනවා. ඒ හදලා ක්‍රීඩා පිටියට ඔය ගල් කෑලි දාලා පොලොව තද කරලා දෙනවා කියලා අවසානේ මහ ලොකු පර්වත ගල් ටිකක් ගෙනල්ලා හෙන අතඅරිනවා වගේ අත හැරලා ගිය එක විතරයි අපිට ඉතුරු වුණේ. මේ සේරටම වග කියන්න ඕනෙ කල්පිටියෙ හිටපු සභාපති වරයා කියන එක අපි තරයේ කියන්න කැමතියි.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී එස්.එම්. රාජේස්වරම් මහතා  පවසන්නේ මෙවන්නකි.

 මේ ගල් දාලා ග්‍රවුන්ඩ් එක විනාශ කරපු එකෙන් අද අපි දුක්විදින්නෙ කලපුවෙන් ගලන වඩදිය සේරම ගෙවල් වලට එනවා මොකද ග්‍රවුන්ඩ් එක මැදින් ගලන ඇළ සම්පූර්ණයෙන් වහලා ගල් බාලා. තව දෙයක් ගංවතුර කාලෙට මේ නිසා අපිට ගෙවල් දොරවල් වල ඉන්න බැහැ අඩි පහ හයක් ගෙට වතුර දානවා මේ ගල් දාලා වතුර පාර හරස් කරලා නිසා ඒ විතරක් නෙමෙයි හැන්දෑවේ හය වෙද්දි ගෙදරක ඉන්න හිටින්න බැහැ මදුරුවො අපිව උස්සගෙන යන්න හදනවා මොකද කීවොත් ඒතරමට මේ ගල් කෑලි වලට හරස් වෙලා වතුර එකතු වෙලා ඒ වගෙ මදුරුවො බෝවෙලා. මේ ගැන හොයලා බලන්න කිසිම කොන්ද පණ තියෙන බලධාරියෙක් නැති වුණාම තමයි අපේ ගම් මේ විදියට මකබෑවිලා යන්නෙ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී එස්.ඒ.ඒ.අජිත් කුමාරසිංහ මහතා  පවසන්නේ මෙවන්නකි.

 මිල්හාජ් කියන සභාපතිවරයා කල්පිටි ප්‍රාදේශිය සභාවේ ඉන්න කාලේ තමයි මේ ගල් ගෙනල්ලා  ග්‍රවුන්ඩ් එකට දැම්මෙ. මොකද එයාගෙ කීමට තමයි මේ දේ සිද්ධ වුනේ කියලා අපි කියන්න කැමතියි. මොකද කිසිසේත්ම එයා නොදැණුවත්ව මේ වගේ දෙයක් කවදාවත් වෙන්න විදියක් නැහැ. මොකද එයා අපිට පොරොන්දුවක් වුණා මේ පාර හදලා ග්‍රවුන්ඩ් එකත් හදලා දෙනවා කියලා. ඒක අද වෙනකම්ම එච්චර තමයි. කටින් බතල කොළ හිටවපු එක අපූරුවට කෙරුවා වෙන කිසිම දෙයක් කෙරුවෙ නැති වුණාට.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී එස්.අශෝක් චන්ද්‍රන්  මහතා  පවසන්නේ මෙවන්නකි.

 ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි මේක කුණු කසළ බැහැර කරන ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාගේ පොදු ඉඩමක් මේක මොකද නැත්නම් එයා මේ වගේ අසික්කිත වැඩක් කරයිද? අද ළමයින්ගෙ ළමා ලෝකයට නේද මෙයා මේ විදියට වළ කපලා සල්ලි ටික සාක්කුවෙ දාගෙන වැජඹෙන්නෙ. කව්ද අද මේකෙන් දුක් විදින්නෙ මොකද එයාගෙ ළමයි මේ ග්‍රවුන්ඩ් එකේ බෝල ගහනවනම් එයා කවදාවත් මේ වගේ වැඩක් කරයිද? සල්ලි දෙනවනම් අපිවත් ඔය කියන සභාපති වරයා විකුණලා මේ වෙද්දි අපිව සල්ලි වලට ගන්න කව්රුත් හිටියෙ නැති එක අපේ වාසනාව.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී ඩබ්ලිව්. දිලන්ති රේණුකා මහත්මිය  පවසන්නේ මෙවන්නකි.

 මේ ග්‍රවුන්ඩ් එකට කරලා තියෙන හානිය සුළු පටු හානියක් නෙමෙයි මේ නිසා අද අපේ දරුවන්ට අතක් පයක් දිග හැරලා සෙල්ලම් කරන්න විදියක් නැහැ. වැහි කාලෙට ගංවතුර දාපුහාම මාස ගාණක් යනකම් ඒ වතුර රැදෙනවා ඒ මදිවට අපේ ගෙවල් වල දනක් වතුර බේරෙනවා. අපේ ධීවරයෙකුට අද මේ නිසා තොටුපල පවා අහිමිවෙලා ගිහිල්ලා. තියෙනවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමක දී ඩබ්ලිව්. රුවන් පුෂ්පකුමාර  මහතා  පවසන්නේ මෙවන්නකි.

වැඩක් නැහැ මේ ගැන අපි පුළුවන් තරම් බළධාරින්ට කියලා ඒ කොච්චර කිව්වත් කමල්ලේ ඉන්න බල්ලා වගේ තමයි ඔය කියන නිළධාරි ටික. ඊට මීට වැඩිය හොදයි පැත්තකට වෙලා ඉන්න එක මොකද අදක ඊයෙ ඉදලා නෙමෙයි මේ හෙනහුරුකම අපිට සිද්ධ වෙලා තියෙන්නෙ.  අද මේ නිසා අපිට තොටුපලක් පවා අහිමි වෙලා කිව්වොත් ඒක ලොකු කණගාටුවක් මොකද අපි වැඩි පිරිසක් මෙහෙ ඉන්නෙ ධීවරයො.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප කල විමසුකදී කල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා පවසා සිටියේ.

 මම අලුතෙන් තමයි මේ බල ප්‍රදේශයේ වැඩ භාර ගත්තෙ. ඒ නිසා තාම මට ඔය කියන ප්‍රදේශය ගැන ලොකු දැනීමක් නැහැ. නමුත් මම කාර්යාලයේ   පරිපාන අංශයෙන්  මේ ගැන විමසීමක් කලා ඒ අනුව අදාල සුන්බුන් අපි කඩිනමින් ඉවත් කරලා ජනතා පීඩාකාරිත්වයෙන් ජනතාව මුදා ගන්නත් ඔය කියන ක්‍රීඩා පිටිය නිදහස් කරන්නත් අපි කටයුතු ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සියල්ල මේ වෙද්දි සූදානම් කරලා තියෙන්නෙ.

DSC_0214 DSC_0171 DSC_0168 DSC_0161 DSC_0157

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*