විල්පත්තුව, ජාතිවාදී බල අරගල හා මන්නාරමේ සරණාගතයන්


MANNER_VIL

විල්පත්තු වන විනාශය යලිත් කරළියෙ කතාබහට ලක්වී ඇත. මෙම ප්‍රශ්නයට විසදුම් සොයනවා වෙනුවට සිංහල හා මුස්ලිම් සමාජයේ ඇතැම් කොටස් එකිනෙකාට චෝදනා කරමින් සිටිති. මෙහි වාසිය රිෂාද් බදියුදීන් ඇමතිවරයා අතිශයින්ම බුක්ති විදිමින් සිටිති.

ඇතැම් විද්‍යුත් මාධ්‍ය විල්පත්තු නැවත පදිංචි කිරීම වාර්තා කරන ආකාරයේද ඇතැම් දෝෂ හා වැරදි කරුනු ඇති බව පෙනීයයි. මෙනිසාම මුස්ලිම් සමාජයේ ඇතැම් කොටස් මෙය මුස්ලිම් සමාජයට එල්ල කරන පහරක් ලෙස අරුත දැක්වීමට උත්සාහ කරන අතර, එයට ප්‍රතිචාර දැක්වීමට යාමේදී එය ජාතිවාදී ස්වරූපයක් ගැනීම කණගාටුදායක කරුණකි. මෙහිදී මෙම මුස්ලිම් සමාජයට පමණක් චෝදනා කළ නොහැක. මහින්ද රාජපක්ෂගේ ඊනියා ජාතිකවාදී ආණ්ඩුව පරාජය වීමෙන් කනස්සල්ලට පත්වී සිටින ඇතැම් සිංහල සංවිධානද මෙම නැවත පදිංචි කිරීම ඉතාමත් පහත් අන්දමින් හා ජාතිවාදී ලෙස මෙය ගෙනහැර දක්වති.

එක්තරා පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක් මෙය විටින් විට වාර්තා කළද, ඔවුන්ද මෙය නිසියාකාරව අවබෝධ කරගෙන සිටින බවක් නොපෙනෙන නිසාම රාජපක්ෂවරුන් හා රිෂාද් ඇමතිවරයා විල්පත්තුව අවට සිදුකල වන විනාශය තවමත් හරිහැටි හෙලිවී නොමැත.

මුලින්ම කිව යුත්තෙ විල්පත්තුව යන වචනය මෙයට ඈදා ගැනීම පළමු වරද බවයි. නීතිවිරෝධී වන විනාශයක් සිදුවී ඇත්නම් එය සිදුවී ඇත්තේ විල්පත්තුවේ නොව ඉන් පිටතය. මේ කාරනය හොදින්ම දන්නෙ රිෂාද් ඇමතිවරයාය. විල්පත්තුවේ එක ගහක් හෝ කපා ඇති බවට ඔප්පු කලහොත් තමා දේශපාලනයෙන් ඉවත්වන බවට ඔහු කිසිදු බියක් නොමැතිව පවසන්නේ එනිසාමය.

මෙම අවතැන්වූවනගෙ ඉඩම් ප්‍රශ්නය හා යම් දුරකට සිදුවී ඇති වන විනාශයට මුළුමනින්ම වගකිව යුත්තේ රිෂාද් ඇතුලු රාජපක්ෂ පාලනයයි. රාජපක්ෂ පාලන සමයේ සමහර සිදුවිම් නීත්‍යානුකූල ආකාරයටම සිදුනොවූ බව සියලුදෙනා දන්නා කාරනයකි. බැසිල් රාජපක්ෂව ඉතා සමීපව ඇසුරු කල රිෂාද් ඔහු සමග එක් වී තමාගෙ අභිලාෂයන් බැසිල්ගේ අනුදැනුම ඇතිවම ඉෂ්ට කරගැනීමට හැකි වී ඇති බවට කිසිදු සැකයක් නැත.

මෙම අවතැන්වූවන්ගෙ ඉඩම් ගැටලුවලට මූලිකවම පාදක වන්නේ 2012 දී මරිච්චිකට්ටුවෙ පිහිටා ඇති සමහර ඉඩම් ඉතා වැරදි ලෙස යලි සීමා නිර්ණයකර එය වන සංරක්ෂිතයට අයම් ඉඩම් ලෙස ගැසට් කිරිමෙනි. එම ඉඩම් 1990 ට පෙර සිටි ප්‍රදේශ බවත් වාර්තා වන අතර එය සනාථ කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇත.

මෙම සාක්ෂි සතය්‍යක් වුවද, මෙහිලා තර්ක විතර්ක ගෙන ඒමේදී මුස්ලිම් ජනයා ප්‍රවෙසම් විය යුතුය. ජනයා කලින් පදිංචිව සිටි ඉඩම් හරි හෝ වැරදි ලෙසින් යලි සීමානිර්ණය කොට ගැසට් කල පසු, ජනයා නැවත පදිංචි කල යුත්තේ කිසියම් පිළිගත් ක්‍රියා පටිපාටියකට අනුවය. එම ගැසට් නිවේදනය නිවැරැදි කල යුත්තේ රජයේ පිලිගත් ක්‍රමවේදයන්ට අනුවය. කලින් සදහන් කලාක් මෙන් රාජපක්ෂවරුන්ගෙ පාලන සමයෙ මෙය නිසිලෙස සිදුවූවා දැයි සැකයකි.

මෙහිලා රිෂාද් ඇමතිවරයාට ඇගිල්ල දිගු කරන්නේ කාරනා දෙකක් නිසාය.

1. 2012දී මෙම වැරදි ගැසටය නිකුත්වෙද්දී ඔහු රජයේ ප්‍රබල ඇමැතිවරයකි. මෙයට එරෙහිව ඔහු ගත් ක්‍රියාමාර්ග මොනවාද. මෙය නිවැරැදි කිරීම සදහා ඔහුගත් ක්‍රියාමාර්ග මොනවාද ?

2. වැරදි සීමානිර්නයක් ගැසට් කිරිමෙන් පසු යලි ජනයා පදිංචි කලේ කුමන පදනමක් මතද?

මෙහිදී දෙවන කාරනයේදි ඔහුට පමණක් චෝදනා නොකරමි. මන්දයත් එය ඔහුට තනිවම කල නොහැක. මේ සදහා ඔහුට අනිවාර්යයෙන්ම රාජපක්ෂවරුන්ගෙ, විශේෂයෙන්ම බැසිල්ගේ සහය ඔහුට හිමි වී ඇත. අනෙක් අතට රාජපක්ෂවරුන්ට නොදැන උතුර-නැගෙනහිර තනකොල ගහක් හෝ කැපීමට කිසිවකුට නොහැක.

මීලගට ඇත්තේ සිදුවූවා යැයි කියන වන විනාශයයි. අවතැන්වූවන් තම තමන්ගේ ඉඩම්වල පදිංචි වීම වන විනාශක් ලෙස හැර දැක්විය නොහැක. රිෂාද්ට හා රාජපක්ෂවරුනට වන විනාශයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය යුත්තේ මෙම ජනයා පදිංචි වී සිටින ඉඩම්වල නොව මරිච්චිකට්ටුවෙ ආසන්නයේ පිහිටා ඇති මලෙයිමීසු නැමැති වනාන්තරය එලිකිරිම සම්බන්ධයෙනි. මෙහි අක්කර 500ක වනයක් විනාශ කර ඇත. මෙය ජනයා යලි පදිංචි කිරීම සදහා නොවේ. මේ සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ රජයේ කිසිදු ආයතනයකින් අනුමැතියක් නොලැබිණ. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මෙම වන විනාශය සම්බන්ධයෙනි.

අවතැන්වූවන් යලි ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරිම හා ඔවුන්ට ඒ ආශ්‍රිතව ඉඩම් ලබාදීම, වන සංහාරයක් ලෙස උවා දැක්වීමට ඇතැම් සිංහල සංවිධාන හා මාධ්‍ය උත්සාහ කිරීම පිළිගත නොහැක. මෙය මුස්ලිම් සමාජයේ කණගාටුවට හේතුවීම ස්වභාවයකි. එමෙන්ම එසෙ වන විනාශයක් සිදුවී තිබේනම් එය හුදෙක් රිෂාද් ඇමතිවරයාගෙ තනි මැදිහත්වීම මත සිදුවිය නොහැක. එයට අනිවාර්යයෙන්ම රාජපක්ෂවරුන්ගෙ දායකත්වයක් ඇත. මෙම සංවිධාන හා මාධ්‍ය රාජපක්ෂවරුන්ගෙ දායකත්වය සගවා, අවතැන්වූවන්ගෙ ඉඩම්වට කෙනෙහිලිකම් කිරීම තුල මුස්ලිම්වරුන් ජාතිවාදීව සිතීමට පුරුදු වී ඇත. ඔවුන් නාමල්ගම කැලෑ හෙලිකිරීම ගැන කතාකරනුයේ එනිසාය.

අනෙක් අතට මුස්ලිම් සමාජයේ යම් පිරිසක්ද මෙම ප්‍රශ්නය පටලවාගෙන ඇත. රාජපක්ෂ පාලන සමයෙ සිටි ඇමතිවරුන්ට චෝදනා ඔනෑතරම් ඇත. නමුත් රිෂාද් ඇමතිවරයාට එල්ලවන මෙම චෝදනාව රාජපක්ෂ රජයේ ඇමැතිවරයකුට එල්ලවන චෝදනාවක් ලෙස පිළිගැනීමට ඔවුන් සූදානම් නැත. මෙම චෝදනා එල්ලවන්නේ අවතැන්වූවන් මුස්ලිම් වූ නිසා හා රිෂාත් මුස්ලිම්වරයකු වු නිසා යැයි මුස්ලිම් සමාජයේ ඇතැම් පිරිස් සිතති. ඔවුන්ට එසෙ සිතීමට සාධාරණ හේතු තිබුණත් එසෙ සිතා කටයුතු කිරීම එතරම් උචිත නොවේ. එය ජාතිවාදී නොවන සිංහල බහුතරය අතරට වැරදි පණිවිඩයක් ගෙනයන්නේය.

කරුනු කාරනා කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය මුල් කරගෙන සිංහල හා මුස්ලිම් සමාජයේ ඇතැම් කොටස් එකිනෙකාට ජාතිවාදී ලෙස චෝදනා කිරීමෙන් සමාජය තුල ජාතිවාදය ඉතා සීඝ්‍ර ලෙස හා නින්දිත ලෙස උත්සන්න වී ඇත.

තම තමන්ගේ හැගීම්වලට මුල් තැන නොදී, නුවණට මුල්තැන දී කටයුතු කරන්නේ නම් මෙම ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් ලබාගත හැක. නොඑසේනම් ඉන් වාසිය රිෂාද් ඇමැතිවරයාට හා ජාතිවාදී ආණ්ඩු පිහිටුවිමට බලා සිටින ඇතැම් පිරිස්වලටය.

මුම්ටාස් රහ්මාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*