මැතිවරණවලට, මැයි දිනයට, පෙළපාළිවලට සල්ලි දීලා, නාග සලං ගහලා ඒ ජනතාව දක්කා ගෙන ගිය යුගය අවසන් කරනවා


PATALI_KADUWELA

නව රැකියා දස දහසක් සමඟ ශ්‍රමයට වටිනාකමක් සහ හැකියාවට සම්මානයක් ලබාදීමට සූදානම් බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසනවා.ඊයේ (24) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සදහා කළේ අද දවසේ තරුණ ඔබේ ශක්තිය හෙට දවසේ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යොදවන්නට එක් වන ලෙස රැකියා විරහිත තරුණ බලවේගයට ආරාධනා කරන බවයි.

“අපේ සංඛ්‍යාලේඛන අනුව තාමත් ශ්‍රී ලංකාවේ 4% ක පමණ විරැකියාවක් පවතිනවා. එය ඇත්තටම අතීතයත් එක්ක සංසන්දනය කරන විට විශාල ජයග්‍රහණයක්. එක් දහස් අනූ අට- අසූ නවය කැරැල්ල ඇති වන වෙලාවේ මේ රටේ විරැකියා ප්‍රතිශතය 33% ක්. නමුත් අද ඒක 4% යි. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. ඒකට ප්‍රධාන හේතු සාධක දෙකක් වුණේ රටේ ජනගහනය අඩු වීමත් එක්ක, තරුණ ජනගහනයේ අඩු වීමක් ඇති වීමත්. ඒ වගේම අතිවිශාල පිරිසක් විදේශ රැකියාවලට යොමු වීමත්. රටේ ජනගහනයෙන් 10% ක් විදේශ රැකියාවල නිරත වෙනවා. ආණ්ඩුවල හයියෙන්ම විසඳුණේ නැතත් එම ප්‍රශ්න මේ අයුරින් විසඳිලා තියෙනවා.”

“මේ පිරිස ඉදිකිරීම් ක්ෂේත්‍රයට එකතු කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. දැනට අපි වැඩබිම් දොළහක නිවාස දහතුන් දාහක් කොළඹ නගරයේ ඉදි කරගෙන යනවා. එය අතිවිශාල ව්‍යාපෘතියක්. ඒ සඳහා රජ්‍ය අනුග්‍රහයකින් තොරව , නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ කටයුත්ත කරගෙන යන්නේ. ඒ ගැන අපි විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් අපි කරන්නේ නෑ. අපි බලන්නේ මේ ජනතාවට නිවාස සැපයීමට වඩා මේ ජනතාවගේ ජීවිත ගොඩනැඟීමයි. ඒ සඳහා එම ජනතාවට අපි ස්වයං රැකියා, අධ්‍යාපනය, ක්‍රීඩා, කලා කුසලතාවන් නැංවීම සිදු කරනවා. ඉදිරි අවුරුදු තුනේ දී අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්ෂේත්‍රවල විප්ලවීය පරිවර්තනයක් ඒ සමාජ කණ්ඩායම්වල සිදු වෙයි කියලා.”

“ඒ අනුව ඉදිරි මැතිවරණවලට, මැයි දිනයට, පෙළපාළිවලට සල්ලි දීලා, නාග සලං ගහලා ඒ ජනතාව දක්කා ගෙන ගිය යුගය අවසන් කර, ඒ ජනතාව වෘත්තීය මට්ටමේ පිරිසක් බවට පත් කරන්න, රට ඉදිරියට නැඹුරු කරන පිරිසක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා.”

“එතැනදී අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඔවුන්ගේ බර දරලා රජයට මුල් කාලයේ දී බරක් නොවන ආකාරයට මේ වැදගත් කටයුත්තට ඔවුන්ගේ දායකත්වය ලබාදීම පිළිබඳව. ඒ වගේම මේ වැඩබිම්වල සේවය කරන හාර දහසකට අධික වැඩ කරන අපේ ජනතාව ඇගයීමේ උළෙලක් තමයි මේ උළෙලේ දී සිදු වෙන්නේ. එයින් අපි බලාපොරොත්තු වන්නේ දැනටමත් ගම්බිම්වල සිටින දහස් ගණන් රැකියා විරහිත තරුණයන්ට නව සමාජ අවස්ථාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ලබාදීමයි.”

“අපි ආරාධනා කරනවා මේ රටේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ඉදිකිරීම් ක්ෂේත්‍ර‍යේ ශ්‍රම බළකායට ඇතුළු වන ලෙස. ඔබට මේ මගින් ඉහළට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. අද මේ ක්ෂේත්‍ර පිළිකුලට, වේදනාවට හෝ චෝදනාවට ලක් වන ක්ෂේත්‍ර නොවෙයි. තමන්ගේ ජීවිත, අතමිට සාක්කු සරු කරන ඉතාම හොඳ මාවතක්. ඒ වගේම රටේ ආර්ථිකයට තිබෙන විශාලතම දොරටුවක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න අපේ පිරිස් විදෙස් රටවලත් ඉතා හොඳින් ඒ කටයුතුවල නියැළෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න. ඇතුළු වෙලා රටට වැදගත් පුරවැසියෙක් බවට පත් වෙන්න. අපේ අතීත ශ්‍රී විභූතිය, අනුරාධපුර පොළොන්නරු සීගිරිය අතීත වාස්තු නිර්මාණය කළ අපේ මුතුන් මිත්තන්ගේ අතීත පෞඩත්වයට ඔබත් එක්වන්න කියලා අපි මේ විරැකියා තරුණ බලවේගයට ආරාධනා කර සිටිනවා.”

කාටත් නොපෙනෙන මේ මහ නගරය නිර්මාණය කිරීමේ දී දාඩිය, ශ්‍රමය, කඳුළු හෙළන අපේ වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රණාමය පළ කිරීමේ, ඔවුන් දිරි ගැන්වීමේ, ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීමේ වැඩසටහනක් මේ මස 30 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*