ලෝකය යුද උමතුවක් කරා ගෙනයන එක්සත් ජනපද පාලකයන්ගේ නවලිබරල් අධිරාජ්‍යවාදී සැලසුම් හෙළා දකිමු!


Peratu_Chamira

පසුගියදා එක්සත් ජනපදය විසින් සිරියානු ගුවන් සීමා උල්ලංඝනය කරමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයත්, ඇෆ්ගනිස්ථාන හා පකිස්තාන දේශසීමා අසලට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ලාංකික අධිරාජ්‍ය විරෝධී වාමාංශික පක්ෂ හා වාම කණ්ඩායම් සමග එක්ව තරයේ හෙළා දකී. සිරියාව දැවැන්ත විනාශයක් කරා ගෙනයන අධිරාජ්‍යවාදී නේටෝ බල එකමුතුව ලක්ෂ ගණනක් ජනයා විවිධ රටවල අවතැන් කර අසරණ කරවා ඇත.

ඉන්පසුව එක්සත් ජනපද ආරක්ෂක හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ සිදු කළ දැවැන්ත බෝම්බ ප‍්‍රහාරයෙන් මිය ගිය ඇෆ්ගනිස්ථාන වැසියන් 94 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝකය පුරා ජනමාධ්‍ය වාර්තා කරන්නේ එහිදී සාමාන්‍ය වැසියන් 11 දෙනකුවත් මිය යන්නට ඇති බවයි. මේ අතර කුඩා දරුවෝ හා කාන්තාවෝද සිටිති. මෙම සංඛ්‍යා කිසිවිටෙකත් සත්‍ය සංඛ්‍යා නොවන බව ලෝක ඉතිහාසය පුරාමත් පසුගිය යුද්ධ ගණනාවකදීත් හෙළිදරව් විය. ඇෆ්ගනිස්ථානයට එල්ල කළ මෙම බෝම්බ ප‍්‍රහාරය හුදෙක් අයි.එස්. සටන් කමින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප‍්‍රහාරයකට වඩා දහස් ගණන් පීඩිත ජනතාවට එල්ල කළ ප‍්‍රහාරයකි.එහෙත් අවාසනාවට කරුණ නම් කිසිවෙකුත් මිට එරෙහි නොවී සිටීමයි. සිය භූ- දේශපාලනික උපායන් වෙනුවන් ඕනෑම තිරිසන් තීරණයක් ගෙන ජනතාව බල්ලන් බළලූන් මෙන් මරා දමන්නට අධිරාජ්‍යවාදී බල එකමුතුව පැකිළෙන්නේ නැති බව මේ නවතම සිදුවීම එම අත්දැකීම්වලට එක් කරමින් සනාථ කරයි. මෙමගින් අවධාරණය වන්නේ 2008 වර්ෂයේ පටන් පවත්නා ධනවාදී අර්බුධයෙහි ප‍්‍රකාශනයයි. එය එක් පැත්තකින් ලෝක බලවතුන් ජාතික වාදය දක්වා තල්ලූ කරමින්ද අනෙක් පසින් යුධ උන්මාදයක්ද ඇති කරමින් සිටි.

එක්සත් ජනපද රජය මෙම ප‍්‍රහාරය සාධාරනිකකරණය කළේ අන්තවාදී අයි.එස්. සටන්කාමීන් 36ක් මෙම ප‍්‍රහාරයෙන් මියගිය බව පවසමිනි. ඇෆ්ගනිස්ථාන රජයේ සහාය ඇතිව මෙසේ ඇෆ්ගනිස්ථානය තුළ මිනී මැරීමට එක්සත් ජනපදයට හැකිව තිබෙන ලෝක යථාර්ථය වන්නේ කිසිවකු එයට එරෙහි නොවීමය. එහෙත් මේ වනවිට උතුරු කොරියාව සිය යුද බලය ප‍්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදයට අභියෝග කරමින් සිටී. එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරක යානා සහිත නාවික හමුදා ප‍්‍රහාරක යාත‍්‍රා කොරියානු අර්ධද්වීපය ආසන්නයට යවමින් මෙවැනි තත්වයක් ඇති කරන්නට එක්සත් ජනපදය විසින්ම උතුරු කොරියාවට යුද අභියෝගයක් සිදුකර ඇත. අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නායකත්වයෙන් මේ වනවිට සිදුකරමින් සිටින්නේ ලෝකය යුද උමතුවක් කරා ඇද දැමීම බව පැහැදිලි වෙමින් තිබේ.

මේ ආකාරයට දැවැන්ත අවි සහ විනාශකාරී අවි තරගයක් ආරම්භ කරමින් ඔවුන් සැරසෙන්නේ තම යුද බලය උරගා බලමින් ලෝකයත් මානව ප‍්‍රජාවත් මහා ඛේදවාචකයක් කරා නැවත ඇද දැමීමටය. දැනටමත් ලෝකයේ පීඩිත ජනයා, කුසගින්නේ හා රෝග පීඩාවලින් නිකරුනේ මිය යන්නේ එම මානව ගැටලූ විසඳන්නට හැකි තරම් ධනය, අමුද්‍රව්‍ය සම්පත් හා පුහුණු මානව සම්පත තිබියදීය. පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ මෙන්ම මිනිස් ඉතිහාසයේ පාලකයන්ගේ බල උවමනාවන් වෙනුවෙන් ජිවිත පිදූ පීඩිතයන් හෙටත් සොල්දාදුවන් ලෙස සිය සහෝදර ජනයා සංහාරය කිරීමට යනු ඇත්තේ අධිරාජ්‍යවාදයේ මෙම යුද උම්මත්තකභාවය නිසාය.

මෙම යුද උමතුව වැළැක්වීමට ලෝකය පුරා සියලූ වාම බලවේග හා මානවවාදී ජනතා බලවේගයන් එක මිටකට ඒකරාශි විය යුතු බව අපි අවධාරණය කරමු. ත‍්‍රස්තවාදයට එරෙහිවීමේ නාමයෙන් මෙසේ දිනපතා සාමාන්‍යකරණය කරනු ලබන ම්ලේච්ඡ යුද විනාශයන් තවදුරටත් ඉවසා නොසිට එක්සත් ජනපදය ඇතුළු යුද උම්මත්තක රාජ්‍යයන්ට එරෙහිව හැකි සෑම ආකාරයකින්ම ඒකරාශී වී විරෝධය දක්වන මෙන් ලාංකික පීඩිත ජනතාවටත් ලෝකවාසි සමස්ත ජනතාවටත් අපි ආයාචනය කරමු.

දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017. 04. 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*