ජාතිවාදීන්ට ආපහු ආණ්ඩු හදන්න බෑ


MS_KADURUWELA

ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හැදිය හැක්කේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු ජනකොටස්වලට සමාජ සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (15) පස්වරුවේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ ජාතිවාදී ලෙස වෙන්වී කිසිවෙකුට ආණ්ඩු හැදිය නොහැකි බවයි.

එකම රටක ජනතාවක් ලෙස සියලුදෙනා සමගියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බව බවත් සෑම ජන කොටසකම සිටින අන්තවාදී පිරිස් විවිධ ගැටුම් ඇති කරමින් අසමගිය වපුරන්නට උත්සාහ දරන අතර, සියලුදෙනා ඒ පිළිබඳ බුද්ධියෙන් සහ අවබෝධයෙන් කටයුතු කළයුතු බව ද සඳහන් කළේය.

රටේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරන විට කුමන ජන වර්ගයකට, කුමන ආගමකට හෝ කුමන පක්ෂයකට අයත් ද යන්න වැදගත් නොවන අතර වැදගත් වන්නේ අවශ්‍යතාවය පමණක් බව ද කියා සිටියේය.

රටේ සංවර්ධනය සඳහා නැණවත් සහ ගුණවත් දැනුමෙන් පිරි ජනතාවක් බිහිකිරීමට අධ්‍යාපනය වර්ධනය කළයුතු බවත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ භෞතික සහ මානව සම්පත් සංවර්ධනය සඳහා කිසිදු පසුබෑමකින් තොරව අවශ්‍ය මුදල් වෙන් කිරීමට රජය සූදානම් බවත් ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයේදී සිංහල, දෙමළ, මුස්ලිම් යැයි කිසිදු බේදයක් නොමැති අතර රජය සියලු දරුවන්ට සළකන්නේ එකම දරු පිරිසක් ලෙස බව ද පැවසූ ජනාධිපතිවරයා තම ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ඉදිකිරීමට අපේක්ෂිත සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට අධ්‍යාපනය ලැබිය හැකි සංහිඳියා පාසලේ ඉදිකිරීම් කටයුතු ද මෙම වසරේ ආරම්භ කරන බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*