මේ මහා විනාශයක අවසානය නොව ආරම්භයයි….


WESSA

රට පුරා ඇති වී තිබෙන අපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මියගියේය. තවත් අයට උන්හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය නොව ආරම්භයයි.මීට වසර කිහිපයකට පෙර මිරීයබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය. එය කරුමය, දේවියන්ගේ කැමත්ත හෝ දේශගුණික විපර්යාස හෝ නිසා සිදු නොවූවක් බව පසුකාලීනව සාක්ෂි සහිතව අප අණාවරණය කළහ. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවන විනාශයේ ප්‍රතිපල එ්වා බව හොඳින්ම අණාවරණය විය.

නමුත් මෙම අපදා තත්වය දේශගුණික විපර්යාසවල ප්‍රතිපලයක් ලෙස් වගකිවයුත්තෝ පෙන්වා දෙන්නට උත්සහ දැරීය. දේශගුණික විපර්යාස යනු දෙවියන් වහන්සේ වැනිය. වගකීම් බාර ගැනීමට හෝ අවබෝධ කර ගැනීමට බැරි වූ විට දෙවියන් පිට පටවති. දෙවියන් යනු තක්කඩියන්ගේ නිර්මාණයකි. දේශගුණික විපර්යාස යනු ලෝකයේ තක්කඩිකම් වසා ගැනීමට ගෙනා පරිසර සංහාරය සාධාරණීකරණය කරන, වගකීම් බාර නොගන්නා දෙවියන් වැනි තක්කඩියෙකි.

මේ වනවිට සිදුවන ගංවතුර හා නායයෑම් වැනි ආපදා සියල්ල දේශගුණික විපර්යාස මල්ලට දමා අතපිහ ගැනීමට පාලකයෝ සමත්ව ඇත.

නමුත් මෙම ත්තවය අප රටේ සංවර්ධනයැයි කියා කරන දැවැන්ත පරිසර සංහාරයේ එක් ප්‍රතිපලයකි. විපතක් සිදුවන තුරු අපේ රටේ මිනිසුන්ට පරිසරය මතක්වෙන්නේ නැත. පාලකයන්ට උවමනා ලෙස සොබාදහම වැනසීමට ඉඩ දී ඔවුන් බලා සිටිති.

රට තුළ ඇති ගංගා නිම්න 103 අද වනවිට මෙම දැවැන්ත සංවර්ධනයට හසු වී විනාශ වී යමින් ඇත. සෑම ගංගාවකම ගංවතුර පාලනයට ස්භාවිකව නිර්මාණය වූ පොකුණු හා වැඩි වතුර උරා ගන්නා බිම් ඇත. බොහෝ ගංගාවල එම ප්‍රදේශ නිවාස හා සංවර්ධන ව්‍යාපෘතිවලට යොදවාගන ඇත. වතුර ගැලීමට ඇති තැන් ගොඩකර නගර, නිවාස නිර්මාණය කිරීමේ අවසන් ප්‍රතිපලය වන්නේ ඒ සියල්ල වතුරට යටවීමයි. එය දේශගුණික විපර්යාසය හෝ වෙන කිසිවක් නොව සාමුහික ගොන්කමක ප්‍රතිපලයකි.

කැළණි ගඟ අවට දැනට වගුරු බිම් සියල්ල ගොඩකර ඇත. මුතුරාජවෙල ජලය මුහුදට ගලන බිම අක්කර දහස් ගණනක් ගොඩ කර විශාල බැම්මක් ලෙස අධිවෙිගී මාර්ගය තනා ඇත. අද වනවිට කොළඹ ගංවතුර තර්ජනයට මෙය ප්‍රධාන හේතුවකි. ලෝක බැංකුවේ අවශ්‍යතාවය මත කොමිස් මුදල්වලට ලොල්ව, ලොව කිසිම රටක නොකරන ලෙස ලංකාවේ අධිවේගී මාර්ග තනති. අඩුම තරමේ ඉන්දියාවේ පවා සංවේදි පරිසර පද්ධති අසලින් අධිවේගී මාර්ග නිර්මාණය කරනවිට එය කණු උඩ තනා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කලහ. නමුත් මුතුරාජවෙල හරහාත් අනික් අධිවේගී මාර්ග ඉදිකිරීමේදීත් ඒවා ඉදිකළේ විශාල පරිසර විනාශයක් කරමින් කිලෝමිටරයකට වැලි හා පස් ඝන මිටර් 240,000 ක් ජලය ගලායන බිම් හරහා ගොඩ ගැසීමෙනි. ජලය ගැලීමට ඇති බිම් මෙලෙස හරස් කරන විට රට මධ්‍යයේ එකතු වන ජලයට යටවී ජීවිත නැති වීම වැළක්විය හැකිද ?

එම අධිවේගී මාර්ගයම මාතරට යනතෙක් මුහුදට ගලායන ජලය මහා බැම්මකින් වැලකුවා සේ මුහුදට යා නොදී වලකා ඇත. එයින්ද නොනැවතී රටවටේ අධිවෙගී මාර්ග ඉදිකරති. මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ගංගා 103 හරහා මුහුදට ගලන ජලය බැම්මකින් ආවරණය කළා සේ රට මධ්‍යයේ වැසි කාලයට වතුර පිරී ගංවතුර තත්වය ඇති වීමයි. කඩුවෙල, ජා-ඇල වැනි ප්‍රදේශ අධ්‍යයනය කිරීමේදී මෙය වඩා පැහැදිලි වනු ඇත.

මෙම සිදුවන නායයෑම් ස්භාවික සිදුවන ඒවා නොව අවිධිමත් මහා සංවර්ධනයේ නියත ප්‍රතිපලයකි. ජල උල්පත් රාශියක් රඳවාගෙන සිටින මධ්‍යම කඳුකරය හා අවශේෂ කඳු පන්ති ජල ගබඩාවක් සේ පවතී. අවශ්‍ය තරම් ජලය රඳවාගෙන උල්පත් මගින් අනෙක් ජලය ගංගා ඇළ දොළවලට මුදා හරිනු ලබයි. එලෙස මුදාහරින ජලය නිසි සේ ගලායාම වැලැක්වූ විට ජල ගබඩා තුළ පස් දියවීම සහ ලිහිල් වීම ආරම්භ වන අතර පස් අංශු අතර තර බැඳීම් ලිහිල් වී මහා කඳු නාය යෑම සිදුවේ. ( Debris) එය දේශගුණික විපර්යාස නිසා සිදුවන දෙයක් නොව ජලය ගලන මාර්ග කොන්ක්‍රීට් කිරීම, ඒවාට බාධා කිරීම නිසා ඇතිවන ප්‍රතිපලයයි.

මධ්‍යම කඳුකරය තුළ ලොකු, කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම, වනාන්තර විනාශය හා උමං හැරීම මගින් කඳුකරයේ මවු පාෂාණ හා මතුපිට පාෂාණ අතර ඇති සම්බන්ධතාවය බිඳ දැමීමට අවශ්‍ය විනාශය කරණු ලබයි. එය අරණායක, මීරියබැද්ද,නිකලොය කඳු නායයෑමෙන් අවසාන නොවේ. මෙම රජයන් කරන මහා විනාශය දිගින් දිගටම සිදු වුවහොත් සැම වසරකම මෙවන් සිදුවීම්වලට මුහුණදීමට සිදුවීම විද්‍යාත්මක සත්‍යයකි.

එය තවදුරටත් වර්ධනය කරමින් මේ වනවිට සංවර්ධනයේ මායාව පෙන්වමින් මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය, මහනුවර-කොළඹ අධිවේගී මාර්ගය, මන්නාරම-හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට-අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදිවන අතර එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දිගුකොට ආසියානු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධිවේගී මාර්ග ජාලයට අමතරව රටතුළ, නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදිකිරීමට නියමිත අතර එහි සමස්ත දිග කිලෝමීටර් 11,697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදිවන්නේ වැලි හා පස් ගොඩකර, කොට්ටාව-පින්නදූව අධිවේගී මාර්ගය ගොඩනැගූ පරිද්දෙනි.

මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදිවන අතර එය ද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම්ගේ පාළම ඔස්සේ සම්බන්ධ කරනු ලබන අතර මෙම සෑම මාර්ගයකම ගමන් කිරීම සඳහා අධික මිල ගණන් අයකරනු ලබයි.

2030 ලංකාව පාරිසරික හෝටල් සහිත සංචාරත කලාප, මුහුද ආශ්‍රිත සංචාරක කලාප, වෙරළ ආශ්‍රිත සංචාරක කලාප, පාරිසරික බිම් පදනම් කරගත් සංචාරක කලාප ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර හලාවත සිට උතුරට හා දකුණටත්, අනුරාධපුර, පොළොන්නරුව වැනි ඓතිහාසික නගරත්, බිබිල-නිල්ගල වැනි වනබිම් ආශ්‍රිතවත්, අනෙකුත් ප්‍රදේශවලත් හෝටල් ඉදිකිරීමට හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යොදාගනු ලබයි.

MAPවනවිට ලංකාව ගුවන් මධ්‍යස්ථානයක් කිරීමට චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවලට අවශ්‍ය වී ඇති අතර ඒ අනුව කටුනායක ගුවන් තොටුපල පුළුල් කිරීම කරනු ලබයි. මත්තලට අමතරව හිඟරක්ගොඩ ප්‍රදේශයේ නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

පලාලි, ත්‍රිකුණාමලය, පුත්තලම, මඩකළපුව, කළුතර, අම්පාර, වව්නියාව, අනුරාධපුර, ගාල්ල, රත්මලාන යන ගුවන් තොටුපලවල් වැඩිදියුණු කරන අතර 2013 වසරේ සිට නුවරඑළිය, දඹුල්ල යන ස්ථානවල අලුතින් ගුවන් තොටුපල දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇත. ඒ අනුව 2030 අවසන් වනවිට ලංකාවේ මුළු ගුවන් තොටුපල ප්‍රමාණය 19 කි.

එමෙන්ම ජාතික භෞතික සැළසුමට අනුව අනුරාධපුර හා උතුරේ ප්‍රදේශ කිහිපයකත් මොනරාගල ප්‍රදේශයේත් පළතුරු, එළවළු, රටකජු, ෆාම් ඔයිල් හා වාණිජ්‍ය වටිනාකම් සහිත දැවවර්ග ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොලට අවශ්‍ය භෝග වගාකිරීම සඳහා යොදාගනු ලබයි. එමෙන්ම ලංකාව පුරා ආයෝජකයන්ට තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කිරිමට ඉඩදීමට රජය කටයුතු කරමින් සිටී. මන්නාරම හා ප්‍රධාන ගොවිබිම් කේන්ද්‍ර කරගනිමින් ලංකාව පුරා මහ නගර කලාප, විශේෂ නගර, දිස්ත්‍රික් අග නගර ලෙස නගර නිර්මාණය කරන අතර මේවා ගොවිතැන මුල් කරගත් නගර නොව කාර්මාක නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප වැනි වානිජ්‍ය ප්‍රදේශ වේ. ගම්පහ සිට කළුතර දක්වාත්, මාතර සිට තණමල්විල දක්වාත් මහ නගර කලාප වන අතර අම්පාර සිට මඩකළපුව දක්වා නැගෙනහිර මහ නගර කලාපයත් ත්‍රිකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර ප්‍රදේශ උතුරු මැද මහ නගර කලාපය ලෙසත්, මන්නාරම, කිලිනොච්චියේ සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහත කි පරිදි සංශෝධනය කරනු ලබයි.

වසර 2030 වනවිට මහ නගර කලාප තුළ පදිංචි කිරීමට නියමිත ජන සංඛ්‍යාව
බස්නාහිර මහ නගර කලාපය – මිලියන 03.5
දකුණු මහ නගර කලාපය – මිලියන 01
ගාල්ල මහ නගර කලාපය – මිලියන 01
නැගෙනහිර මහ නගර කලාපය – මිලියන 01
උතුරු මැද මහ නගර කලාපය – මිලියන 04
යාපනය මහ නගර කලාපය – මිලියන 01

මෙහිදී ඉතා ඉක්මනින් ස්වභාවික ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල සිටින ජනතාව ස්වෙච්ඡාවෙන් ඉහත කී නගර කලාප වෙතට සංක්‍රමණය වියයුතු බව මෙහි සඳහන්ව ඇත.

මෙයට අමතරව ලංකාව වටා මුහුදු තීරයේ ඛනිජ ද්‍රව්‍ය කැණීම ද නොයෙක් ආකාරයේ ජල විදුලි බලාගාර, න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට නියමිත අතර ලංකාව වටා මුහුදු තීරයේ ධීවර වරාය සංඛ්‍යාව හතළිහක් දක්වා පුළල් කරමින් ධීවර බෝට්ටු 40,000 ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන අතර මඩකළපුවේ සිට හම්බන්තොට දක්වා ෆයිබර් විද්‍යුත් සන්නිවේදන ජාලයක් ලාහුගල, යාල, උඩවලව ජාතික වනෝද්‍යාන හරහා ඉදිකිරීමට නියමිතය.

ගංවතුර පමණක් නොව නියං ආපදා ඇතුළු වෙනත් මහා විපත්වලින් මිනිසුන්ගේ හෝ සොබාදහමේ විනාශය වලකා ලිය හැකිද ? මළතැනදී පමණක් හඬ අවදි කර පලක් නැත. ගංවතුර බැසයන්නා සේ තව ටික දිනකින් සියල්ල අවසන් වී යනු ඇත. පාලකයන් තමන්ට වුවමනා ලෙස සොබාදහම වනසමින් කොමිස් සංවර්ධනය සිදුකරන විට ජනතාව වෙනදා මෙන් නිර්වින්දය වී සිටිනු ඇත. මෙම විනාශය පරාජය කිරිමට ජනතාව මැදිහත් නොවන තාක් කල් ගහකොල, සතා සිව්පාවා හා ජනතාව සිය ජීවිතවලින් වන්දි ගෙවනු ඇත.

රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*