2003දී බිංදුවට වැටුණු ජනතාව අද නැවතත් බින්දුවට වැටිලා


BIMAL_RR

2003දී බිංදුවට වැටුණු ජනතාව අද නැවතත් බින්දුවට වැටි ඇති බවත් ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත් කරන්න ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසනවා.ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදි බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.

ගංවතුර ආපදාවට දින 08ක් ගතවෙලා තිබෙනවා. ආපදා කළමනාකරණය, පීඩාවට පත්වූ ජනතාව මුහුණ දී තිබෙන තත්වය දිහා බැලූවම මෙය ඉතාම ඛේදවාචක තත්වයක්. කළුතර, ගාල්ල, මාතර රත්නපුර, ප‍්‍රදේශවල සහන කණ්ඩායම් තවත් සති දෙකක පමණ කාලයක් වැඩ කළත් එම ප‍්‍රදේශ යථා තත්වයට ගන්න බැරි තරමට හානි වී ඇති බව සහන කණ්ඩායම් සහ රජයේ නිලධාරීන් පවසා තිබෙනවා. රජයේ සැලසුමකින් තොර දේශපාලන සංදර්ශන නිසා මෙම තත්වය තවත් බරපතළ වෙලා තිබෙනවා.

මෙම නායයෑම් සහ ගංවතුරට ප‍්‍රධාන හේතුව මධ්‍යම කඳුකරය විනාශ කිරීම. සුදු අධිරාජ්‍යවාදීන් කඳුකර ප‍්‍රදේශයේ අඩි 3,000ට, 5,000ට ඉහළ ප‍්‍රදේශ වතු වගා සඳහා යොදා ගත්තා. අපේ රටේ අවුරුදු 2,000ක පමණ කාලයක් තුළ සංවර්ධන කි‍්‍රයාවලිිය සිදුවුණේ කඳුකර ප‍්‍රදේශ ආරක්‍ෂා කරමින්. කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලින් ගංගා පටන් ගත් නිසා ජල පෝෂක ආරක්‍ෂා කළා. පහළදී ගඟ හරස් කරලා වැව් බැඳලා තැනිතලාවේ ගොවිතැන් කටයුතු කළා. නමුත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් කඳු කපලා තේ වගා කළා. ඔවුන් තැනිතලා රක්‍ෂිත කලාප ලෙස නම් කළා. සංරක්‍ෂණය කළ යුතු තැන් සංරක්‍ෂණය කළේ නැහැ. 1815න් පස්සේ මෙම විනාශයන් සිදුවීම ආරම්භ වුණා. මෙම විනාශය එකවර ආපසු හරවන්න බැහැ. ඉන් පසු රටේ පාලකයින් විසින්ද කළේ මෙම කඳුකරය විනාශ කිරීමයි. සමාගම් විසින් තමන්ගේ ලාභ වැඩිකර ගැනීමට පරිසරය විනාශ කළා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව, සමාගම් යන පාරේම ගිහින් ජනතාවත් පරිසර හානියට දායක වුණා. නමුත් ජනතාවගෙන් වන හානියට වඩා ආණ්ඩු මගින් සමාගම්වලින් සිදුවන හානිය වැඩියි. ඒ නිසා තමයි අද ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. ප‍්‍රධාන ගංගාවලින් වතුර බහින්නේ නැති තත්වයක් ඇතිවෙලා. දෙගොඩ තලා යන වතුර නැවත බැස යාමට නොහැකිව හිරවෙලා තිබෙන්නේ පාලකයින්ගේ අවිධිමත් සංවර්ධනය නිසයි. ඒ කෙසේ වෙතත් ආපදා වළක්වා ගැනීම සඳහා කළ හැකි කටයුතු ප‍්‍රමාණයක් රජයකට තිබෙනවා. ඒ සඳහා තමයි ආපදා කළමණාකරණ අමාත්‍යාංශයක් තිබෙන්නේ.

එන්න එන්නම අපේ රටට ආපදා හානි වැඩිවෙලා තිබෙනවා. අපේ රට 1956දී, 1969දී, 2003දී, 2005දී 2016දී සහ 2017දී ගංවතුර ආපදාවකට ලක්වුණා. නමුත් පසුගිය දශක එකහමාර දෙක කාලය තුළ ආපදා තත්වය වැඩිවෙලා තිබෙනවා. පරිසර හානිය වැඩිවීම, අවිධිමත් සංවර්ධනය ආපදා වළක්වා ගැනීමට අපොහොසත් වීම නිසා මෙම තත්වය උග‍්‍ර වෙලා. ප‍්‍රධාන කරුණ වන්නේ ආපදා තත්වය පිළිබඳ අනාවැකි කීමයි. එක් පුවත්පතක වාර්තා කොට තිබුණා, නිරිතදිග මෝසම ජීවිත 91ක් බිළි ගනී කියලා. එය නිවැරදි නැහැ. ඇත්තතටම නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ තත්වය පිළිබඳව අනාවැකි කීම හරහා අනතුරු වළක්වා ගන්න ජනතාව එම ප‍්‍රදේශවලින් ඉවත් කරන්න පුළුවන්. දැන් කාලගුණ අනාවැකි කීමත් ශාස්ත‍්‍ර කාරයින්ගේ මට්ටමට වැටිලා. තාක්‍ෂණය භාවිතා කරලා අනාවැකි පළකරන්න පුළුවන්. නමුත් අපේ රට විසින් මිලදී ගත් ඩොප්ලර් රේඩාර් උපකරණය සම්බන්ධයෙන් වංචාවක් සිදුවෙලා. එම උපකරණය තිබුණා නම් ඒ ඒ ප‍්‍රදේශවලට ලැබෙන වැසි ප‍්‍රමාණය පවා නිශ්චිතව කියන්න පුළුවන්කම තිබුණා. නමුත් අපේ රටේ අනාවැකි කීම බරපතළ දුර්වල මට්ටමක තිබෙන්නේ. මේ වනවිටත් 212කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගිහින්. 90කට අධික ප‍්‍රමාණයක් අතුරුදහන්වී බිලියන ගණනක දේපොළ විනාශ වී තිබෙනවා. ඒ නිසා අනාවැකි කීමේ දුර්වලතාවය පිළිබඳ ආණ්ඩුව වගකිව යුතුව තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවට ආපදා සහන සැලසීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. අපේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ඇතුළු සාමාජිකයින් රතු තරුව සහන සේවා බළකාය සමඟ වැඩ කළා පමණක් නොව ආණ්ඩුවේ පරිපාලන රැස්වීම්වලටත් ඇතැම් මන්තී‍්‍රවරුන් සහභාගී වුණා. එහිදී හඳුනාගත්තු දේ තමයි රජයට දීර්ඝ කාලීන ජාතික සැලැස්මක් නොමැතිකම සහ හදිසි සැලැස්මක් නොමැති කම. ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීම්වලටත් ඉතා ලස්සන පොත් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒවායෙහි කරුණු අවුරුදු ගාණක් පැරණියි. යාවත්කාලීන කරලා නැහැ. ආපදාව වළක්වන්න සැලසුමක් නැහැ. අපි පුංචි කාලයේ මැයි-ජූනි මාස වෙසක් පොසොන් මාසයි. නමුත් අද ආපදා මාස වෙලා. අපි කවුරුත් දන්නවා මැයි ජූනි මාස අධික වර්ෂාවක් ලැබෙන බව. නමුත් ඒ ආපදාවලින් වැළකීමට ආණ්ඩුවට සැලසුමක් නැහැ.

ආණ්ඩුවේ ආපදා කළමණාකරණ ආයතනවලට පණ නැති බව කියන්න ඕනෑ. පරිපාලන සම්බන්ධයෙන් නායකත්වයක් නැහැ. නිලධාරීන් නිදි මරාගෙන වැඩ කළත් නිසි කළමණාකරණයක් එම ආයතනවල දක්නට නැහැ. ඉතාමත් දුර්වල මට්ටමක තිබෙන්නේ. ජනතාව ඉතාම පීඩාකාරී තත්වයකයි පසුවෙන්නේ. හදිසි සහන සේවා තත්වයෙන් ඉදිරියට ගොස් සැලසුම් සහගතව අනාගතයේ ආපදා වැළැක්වීම සඳහා සැලසුම් සකස්කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් දිස්ති‍්‍රක්කවලට ආපදා නියෝජිතයෝ පත්කරලා තිබෙනවා. එහෙම පත්කරපු සමහර ඇමතිවරු ආපදා වැළැක්වීමට පත් කළාද, ආපදා ඇතිකිරීමට පත්කළාද කියලා අපට සැකයක් තිබෙනවා. කෑගල්ලට මැදිහත් වුණු ඇමතිවරයා රැස්වීම අවසානයේදී කියා තිබුණේ ඉතිරි වී තිබෙන අක්කර 1500ක රක්‍ෂිතයත් සුළු අපනයන බෝග වගා කරන්න ගොවියන්ට බෙදා දෙන්න ඕනෑ කියලා. ඒ නිසා දේශපාලකයින්ට මේ ආපදා වළක්වන්න පුළුවන්කමක් නැහැ. අද මේ ආණ්ඩුව පරිසර විනාශය ගැන කතා කළාට බිබිලේ ඉඩම් අක්කර ගාණක් සුද්ධ කරලා උක් වගා කරන්න හදනවා. උමා ඔය විනාශය ගැන කතා කරන්නේ නැතිව මඟ හරිනවා. එතකොට ආණ්ඩුවට පරිසරය විනාශය ගැන අමතකයි.

ඒ වගේම ආණ්ඩුවේ ප‍්‍රතිරක්‍ෂණය ගැනත් මතක් කරන්න ඕනෑ. මෙම රක්‍ෂණය නිසා ආණ්ඩුවට රුපියල් මිලියන 10,000ක පමණ මුදලක් ලැබෙන්න නියමිතයි. දැන් ආණ්ඩුව ජීවිත අහිමිවූවෙකුට ගෙවන්නේ රුපියල් ලක්‍ෂයයි. නමුත් අයවැය යෝජනාවට අනුව රු. ලක්‍ෂ 25ක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ නිසා වහාම එම වන්දි මුදල ලබාදිය යුතු බව අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ වගේම රු. ලක්‍ෂ 25ට වඩා හාණි වූ නිවාස දේපොළ තිබෙනවා. මෙම සියලූ රක්‍ෂණ මුදල ජනතාවට ලබාදිය නොහැකි වුවත් සාධාණ ලෙස වන්දි ලබාදෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. 2003දී බිංදුවට වැටුණු ජනතාව අද නැවතත් බින්දුවට වැටිලා. ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත් කරන්න ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතුයි. ඇතැම් රක්‍ෂණ සමාගම්වලින් ජනතාවට සාධාණ වන්දියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ලැබෙන රක්‍ෂණ ප‍්‍රතිලාභය ඉතිරි කරගන්නේ නැතිව ජනතාවට ලබාදිය යුතුයි. ඒ වගේම මෙවැනි ආපදා වැළැක්වීම සඳහා ජාතික ආයතනයක් හදලා එයට අවශ්‍ය බලත ලබා දිය යුතුයි. ජපානය, ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව වැනි රටවල දිගු කාලීන වැඩපිළිවෙළවල් මගින් මෙම ආපදා තත්වයන් වළක්වාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*