කිසිම රජයක් සුළු ජාතීන්ගේ සහාය නැතිව පවත්වාගෙන යන්න බෑ


Vradahakrishana_DL

අමාත්‍ය ධූරය අතහැරලා එළියට යන්න අවස්ථාව ආවොත් අපේ ප්‍රගතිශීලී සන්ධානය සියළු පක්ෂ සමග සාකච්ඡා කර ඒකමතිකව එම තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.අද (06) දා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කිසිම රජයක් සුළු ජාතීන්ගේ සහාය නැතිව පවත්වාගෙන යාමට නොහැකි බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කිය.

“අද එ.ජා.ප.යේ සිටින සමහර ප්‍රධාන අමාත්‍යවරුන් හා ඇතැම් ප්‍රධානීන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා ගැන හෝ සුළු ජාතීන් නියෝජනය කරන අමාත්‍යවරු ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ අත්දැකීම මට මගේ අමාත්‍යාංශය තුළම තිබෙනවා. එම නිසා මෙම ක්‍රියාව සුළු ජාතීන් එ.ජා.ප.යෙන් ඈත්වී සුළු ජාතීන්ගේ සහාය එ.ජා.ප.යෙන් දුරස්වන බවකුයි මට හැගී යන්නේ. 1994 දී  චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය  ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව කඳුකර ජනතාව වෙනුවෙන් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයක් නිර්මාණය කළා. එම අමාත්‍යාංශය  හරහා සුළු ජාතීන්ට සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට හැකි වුණා. අනතුරුව බලයට පත්වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ පළමුවන පාලන සමයේ සුළු ජාතීන්ගේ දියුණුව සදහා වැඩිපුර මුදල් ලබා දුන්නා. විශේෂයෙන් එහිදී ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි දේවල් සඳහා වැඩි උනන්දුවන් දක්වා දියුණු කළා. නමුත් එතුමාගේ දෙවන කාලයේදී සුළු ජාතීන් ගැන වැඩි උනන්දුවක් නොදක්වා සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වුණා. ඒ හේතුව නිසා පසුගිය  මැතිවරණයේදී එතුමාට පරාජය වන්න සිදුවුණා. මේ පාඩම එ.ජා.ප.ය හොඳට අධ්‍යනය කළ යුතුයි. අපි එ.ජා.ප.ය සමග එකතු වෙලා ලොකු තර්ජණ වලට මුහුණ දීලා මේ රජය පිහිටුවන්න අපි සම්පූර්ණ සහාය ලබා දුන්නා. නමුත් දැන් සුළු ජාතීන්ට  එ.ජා.ප.යට සම්බන්ධ සමහර ඇමතිවරුන් හා ප්‍රධානීන්ගේ ක්‍රියා කළාපයන් හේතුවෙන් අවිශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.මේක මම වගකීමෙන් කියන්න කැමතියි. එයට හේතුව මේක අපි ප්‍රකාශ කළේ  නැතිනම් අපේ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට නොහැකි වෙනවා.අපි මේ රජයේ සිටියදී අපේ ජනතාවට කෙණහිළිකම් සිදු වෙනවානම් අපට බලා සිටීමට බෑ.අපි ඒ සම්බන්ධව කෙළින් කථා කරන්න වෙනවා.අපේ ජනතාවට සේවය කරන්න තමයි මේ අමාත්‍යාංශය අපිට ලබා දී තිබෙන්නේ. ඒක කෙරෙන්නේ නැතිනම් “කෙරෙන්නේ නෑ කියා” කෙළින්ම කියන්න අපිට අයිතියක් තිබෙනවා. සමහර අය හිතන්න පුළුවන් එහෙනම් ඇයි මේ රජයේ ඉන්නේ කියල. රජයෙන් එළියට ගිහින් රජයේ වැඩ පිළිවෙල විවේචනය කිරීමෙන් ඵලක් නෑ. රජය තුළ සිටිමින් අපේ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දිය යුතුයි.”

“අමාත්‍ය ධූරය අතහැරලා එළියට යන්න අවස්ථාව ආවොත් අපේ ප්‍රගතිශීලී සන්ධානය සියළු පක්ෂ සමග සාකච්ඡා කර ඒකමතිකව එම තීන්දුව අපි ගන්නවා. අපි පසුගිය මහින්ද මහතාගේ රජයෙන්ද එළියට ආවේ අපේ ජනතාවගේ ඉල්ලීමකටයි.  එම නිසා අපි කියන්න කැමතියි එ.ජා.ප.ය සුළු ජාතීන්ට හා සුළු ජාතීන් නියෝජනය කරන ඇමතිවරුන්ට වැඩ කරන්න නිදහස දිය යුතුයි කියා.”

“කිසිම රජයක් සුළු ජාතීන්ගේ සහාය නැතිව පවත්වාගෙන යාමට නොහැකි බව   පසුගිය කාලයේ අපට ඕන තරම් උදාහරණ තිබෙනවා. ඒ නිසා අපිට යහ පාලන රජයේ එ.ජා.ප.ය නියෝජනය කරන සමහර ඇමතිවරුන්ගේ හැසිරෙණ ආකාරය කිසිසේත් අනුමත කරන්න බෑ. පවතින තත්වය සම්බන්ධව එ.ජා.ප යේ ඉහළ සිටින ප්‍රධානීන් බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු බව අවසන් වශයෙන් පවසනවා.”

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*