රට කුණු වෙච්ච රටක් කරලා ඉවරයි!


WIMAL_WEE

 කුණුවලින් පිරිච්ච කුණු වෙච්ච රටක් බවට වර්තමාන ආණ්ඩුව විසින් මේ රට පත් කර ඇති බවත් පිරිසුදුකමේ සංකේතය බවට පත් වූ කොළඹ නගරය කසල නගරයක් බවට පත් කිරීමට ආණ්ඩුව සමත් වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

“පාලත් පාලන ආයතන වල මැතිවරණ කල් දමා නිලධාරි පාලනයකට ඒවා යටත් කරලා විය යුතු වගකීම් නිසිලෙස ඉටු නොවන විට ආණ්ඩුව ඔහේ බකන් නිලාගෙන ඉන්නවා. අන්තිමට හමුදාව දම්මලා කුණු ඉවත් කරන්නෙයි කියලා කියන තත්ත්වයට අද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පත්වෙලා තියනවා. ඩෙංගුරෝගය දවසින් දවස ව්‍යාප්ත වෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරිමේ ප්‍රධාන විපාකය.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා නම් කියනවා සංවර්ධනය වනකොට මෙහෙම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනවා කියලා. එහෙමනම් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවන රටවල් දුප්පත් රටවල් වෙන්න ඇති. මේ වගේ අමන තකතීරු ප්‍රකාශ වලින් මේ ව්‍යසනය නවත්වන්න බෑ. මොනවා උනත් මංගල සමරවීර අතීතයේ කියපු එක දෙයක් නම් ඇත්ත වෙලා තියනවා. ඒ තමයි රනිල්ට බෑ කියන එක,” මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය ලෙසට විරුදාවලිය ලැබූ, එමෙන්ම පිරිසිදු බවේ සංකේතයක් බවට පත් වූ කොළඹ නගරය පමණක් නොවෙයි, තදාසන්න ප‍්‍රදේශවල හැම නගරයක්ම අද වන විට කුණුවලින් පිරුණු තත්වයකට පත් වෙලා. කුණු වලින් පිරුණු- කුණු වුණු රටක් බවට අද මේ රට, මේ අෘණ්ඩුව විසින් පත්කර අවසන්. කුණු කඳු කඩා වැටිලා මිනිසුන්ගේ ජීවිත, දේපළ විනාශ වෙනවා පමණක් නොවෙයි මේ රටේ නගර, කුණු කඳු බවට පත්කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා. රටක් භාරගත්තා නම් අඩු තරමින් පිරිසිදුකමේ වගකීම හෝ ගන්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනෙ.

පළාත් පාලන මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතන අද නිලධාරී පාලනයකට යටත් කොට තිබෙනවා. ඒ නිලධාරී පාලනය මගින් පළාත් පාලන ආයතනවල විය යුතු යුතුකම සහ වගකීම පැහැර හරින තත්වයකට පත් කරලා මේ ආණ්ඩුව ‘බකංනිලා’ ගෙන ඉන්නවා. අන්තිමේදී ‘හමුදාව දාලා මේ කුණු ඉවත් කරන්න’ කියන තත්වයට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් පත්ව සිටිනවා.

දැන් බලන්න අරනායක සාමසර කන්ද නාය යාමෙන් විපතට පත් වූ ජනතාව අදටත් තාවකාලික ටෙන්ට් කූඩුවල ජීවත ගෙවනවා. මේ ස්වාභාවික ආපදාව සිදු වෙලා දැන් වසරකටත් වැඩියි. එහෙම තියෙද්දි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇමති පට්ටම්, සුඛෝපභෝගී වාහන ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි, දැන් ඩෙංගු රෝගය දිනෙන් දින බරපතළ ලෙස පැතිරෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීම නිසා සිදු වූ බරපතළම හානිය තමයි මේ රටේ ජනතාව ඩෙංගු අවදානමට ලක්වීම. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා නම් කියන්නේ ‘සංවර්ධනයත් සම`ග ඩෙංගු රෝගය මේ විදියට ව්‍යාප්ත වෙනවා’ කියලයි. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවුණු රටවල් ලෝකයේ දුප්පත්ම රටවල් වෙන්න ඕනෙ. (මාධ්‍යවේදීන්ගේ සිනා) සංවර්ධන දර්ශකවල ඉදිරියෙන්ම සිටින බොහෝ යුරෝපා, ස්කැන්ඩිනේවියානු රටවල් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොව රටවල්. මෙවැනි තකතීරු -අමන-මරි-මෝඩ කතාවලින් මේ සැබෑ ව්‍යසනය වසා දමන්නට බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*