යහපාලන ආණ්ඩුවේ සැබෑ අරමුණ වන්නේ විශිෂ්ට ශ්‍රී ලංකාවක් බිහිකිරීමයි


SajeethPP_D

යහපාලන ආණ්ඩුවේ සැබෑ අරමුණ වන්නේ විශිෂ්ට ශ්‍රී ලංකාවක් බිහිකිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්බැඳියාවේ ඉදිවූ ‘කණ්ඨාභරණගම’ නිවාස යෝජනාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ වසර 2025 වන විට සැමට සෙවණ ලබාදීම අපගේ ඉලක්කය බවයි.

“යහපාලන ආණ්ඩුවේ සැබෑ අරමුණ වන්නේ විශිෂ්ට ශ්‍රී ලංකාවක් බිහිකිරීමයි. අද රටේ නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව අපේ රට විශිෂ්ට වනවාද? පසුගිය කාලයේ රට පුරා පාසල්වල පොල් අතු පන්ති කාමර තිබෙනවා අප දුටුවා. පාසල්වල පන්ති කාමර, පුස්තකාල, විද්‍යාගාර හිඟයක් ඇත්නම් අපිට විශිෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය නොහැකියි. අදටත් අපේ රටේ මාතෘ මන්දපෝෂණය, ළමා මන්දපෝෂණය බරපතළ ලෙස පවතිනවා. මේ පිළිබඳව පසුගිය කාලයේ වැඩි අවධානයක් යොමු වුණේ නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න පවතින මෙහොතක අපට විශිෂ්ට ශ්‍රී ලංකාවක් බිහි කළ හැකිද? අපේ ආණ්ඩුව මේ ප්‍රශ්න සඳහා තිරසර ජාතික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.පසුගිය කාලය තුළ මේ පිළිබඳව වචනයට පමණක් සීමා වුණා. එදා විශිෂ්ට ජීවිතයක් ගත කළේ රටේ නායකයන්. විශිෂ්ටත්වයේ ප්‍රතිලාභ හිමිවූයේ රටේ පාලකයන්ටයි. ඔවුන් මහා භාණ්ඩාගාරයේ මුදල් අවභාවිත කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කළා.”

“දේශහිතෛශීත්වය, දේශමාමකත්වය, දේශප්‍රේමීත්වය, ජාත්‍යාලය පිළිබඳව පසුගිය කාලයේ මහා පරිමාණයෙන් කතා කළා. නමුත් මේවා වචනවලට පමණයි සීමා වුණේ. අපේ ආණ්ඩුව මෙය ක්‍රියාවට නංවනවා. ආණ්ඩුව විවේචනය කරන විරුද්ධවාදීන්ට අප සිදුකරන සංවර්ධනය දැකබලා ගන්නට පැමිණෙන ලෙස මා අභියෝග කළා. නමුත් කිසිවකු පැමිණියේ නැහැ. මගේ අභියෝගය බාර ගත්තේද නැහැ. එය ඔවුන්ගේ දේශපාලන නිවටකමයි. අප මේ සිදුකරන සංවර්ධනය දෑසින් දැක ගන්නට මා සමඟ පැමිණෙන්න කියා අද මා ඔවුන්ට නැවත වරක් අභියෝග කරනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*