වැරදුණේ රනිල්ට ද?


RANIL_BB

“රනිල්ට බැහැ.” මෙය විමල් වීරවංශ ඇතුලූ රාජපක්ෂවාදීන්ගේ මන්තරයක් වන් සටන් පාඨය විය. ”රනිල් කොටින්ට රට පාවා දුන්නා.” සාම ගිවිසුම ගැන ඔවුහු කෑ මොරදුන්හ. “රනිල්ට මැතිවරණ දිනන්න බැහැ.” සලාක ක‍්‍රමයට මැතිවරණ පවත්වමින් කියා සිටියහ. මේ සටන්පාඨ පසුගිය දශකය පුරා ජනතාවගේ කන් සිදුරු විනිවිද යමින් නිතර ඇසිණි. කලක් යනවිට රනිල් පවා ඒවා විශ්වාස කරන්නට ඇත. ඒ නිසාදෝ තමන් ඉවත්වී අවස්ථා දෙකකදී ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට සහාය දුන්නේය. එදා පොන්සේකා දිනුවද අද මෛත්‍රී දිනවීමේන් ලැබූ ප‍්‍රතිඵලයට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි වනු ඇත.

ඇත්තටම රනිල්ට බැරිද? මෙය තරමක් ගැඹුරින් සළකා බැලිය යුත්තකි. වසර 40 ක් පාර්ලිමේන්තුවේ සිටින කෘතහස්ත දේශපාලඥයෙක් වන රනිල්, කර්මාන්ත, අධ්‍යාපන ඇමති සහ තරුණ කටයුතු ඇමති තනතුර දරමින් රටට විශාල සේවයක් කළ බව අවිවාදාත්මකයි. ඔහු විසින් ඉදිරිත් කරන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගොනුවූ අදහස් අදද ක්‍රියාමත්මක වෙමින් පවතී. එසේම චන්දි‍්‍රකාගේ පාලන කාලයේ රටේ අගමැතිවරයා වශයෙන් එල්ටීටී සංවිධානය සමග සාම ගිවිසුමකට ඇතුලත්වූයේ එදා පැවති ජාත්‍යන්තර සහ දේශීය වටාපිටාවට අනුකූලවය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසු කාලීනව කරුණා අම්මාන් ප‍්‍රභාකරන්ගෙන් ඉවත් වීම සිදුවිය. එය එල්ටීටියේ දෙදරීමට ප‍්‍රධාන හේතු සාදකය විය. රටේ මුදල් නාස්තිය අවම විය. එහෙත් රනිල්ගෙන් පාලනය උදුරාගත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ පිරිස රට දක්කාගෙන ගියේ ප‍්‍රපාතයක් වෙතය.

රනිල් වික‍්‍රමසිංහගේ දුර්වලකම් තිබේ. වසර ගානක් විපක්ෂයේ සිටිමින් තමන්ට වැඩක් කළ හැකි වයස රනිල් නිකරුණේ වැය කෙළේය. එදා ඔහු දුටු සිහින සැබෑ කරන්නට මෙවර ඔහු උත්සාහ කරන්නේ පැරණි ක‍්‍රවේදයන්ට අනුවයි. ඒ හරියට කියනවා නම් අපි නැවතත් බෙල්බොටම් අ`දින්න උත්සාහ කිරීමක් වැනිය. ඔහු අදත් කල්පනා කරන්නේ විදේශ ආයෝජන හරහා රට දියුණූ කිරීමේ ක‍්‍රමයක් ගැනයි. එහෙත් එදා ජේ ආර් යුගයේදී ලංකාවට තිබූ වාසි සහගත තත්ත්වය අද නැත. අද සිංගප්පූරුව පවා ආයෝජකයින් ගෙන්වා ගැනීමේ ගැටලූවකට මුහුණ දී සිටී. මේ නිසා රනිල්ගේ ආර්ථික ක‍්‍රමයේ අද රටට නොගැලැපෙන බවක් දිස්වේ. රනිල් වැරදුණු තවත් තැනක් වන්නේ තමන් වටේ එදා සිටි අය අදත් කාර්යක්ෂම පුද්ගලයින් ලෙස පිළිගැනීමයි. මේ නිසා පැරණි හිතවතුන් රජයේ උසස් තනතුරුවලට පත් කළ ද අද ඔවුන් තුළින් පෙර පැවති ජවය දැකිය හැකි නොවේ. එහෙත් රනිල්ට ඔවුන් ඉවත් කිරීමට නොහැකි බවකි. අනෙක රනිල් කෙනෙක් ඕනෑවට වඩා විශ්වාස කරයි. මේ නිසාම චන්දි‍්‍රකා පාලන සමයේදී කදිර්ගාමර් ඇමතිවරයාගේ බහට රැුවටීම නිසා අවසානයේ තමන්ගේ රජය විසුරුවා හරින තෙක් ඒ බව නොදැන සිටියේය. කෙනෙක් ගැන වැඩි විශ්වාසය තැබීමේ දුර්වලකම නිසා අද ද රනිල් ප‍්‍රශ්නවලට මුහුණ දේ.

මෛත්‍රීපාලට මැතිවරණයෙන් තරග කරන්නට ඉඩදීමෙන් රනිල් වැරැද්දක් කෙළේද? සැබෑවටම එය එසේ බව කීමට හේතු බොහෝය. එදා ජේ ආර්ගෙන් පසු ජනාධිපතිවරණයට ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් ලිලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානයක විරසක වුවත් ජේ ආර්ගේ තීරණය දේශපාලන වශයෙන් නිවැරැදි බව කිව හැකියි. රනිල්ටත් එසේ කරන්නට බැරි වූණේ ඇයි? එක් හේතුවක් රනිල්ට බැහැ කියන කාරණය ඔහුත් විශ්වාස කරන්නට ඇති බවයි. අනෙක රනිල් අන් අය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමයි. ඔහු තුළ බල තන්හාවක් නැති බව ද කෙනෙකුට තරක් කළ හැකියි. ඇත්තටම රනිල් ජේ ආර් ගත් තීරණ ගත්තේ නම් අද රට යන මග බොහෝ දුරට වෙනස් වන්නට ඉඩ තිබිණි.

ජනතාව රාජපක්ෂලා සමග සිටියේ රට පෙළන ලද එල්ටීටී ත‍්‍රස්වාදයෙන් මිදීමටයි. එහෙත් ඉන් පවුල්වාදයක් සහ මිලටරි පාලන ක‍්‍රමයක් ගෙන යාමට ජනතාව කැමැත්ත දුන්නේ නැත. රට සූරාකෑමට, මිනිසුන් අතුරුදහන් කිරීමට, නිදහස සීමා කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කළේ ද නැත. මේ නිසා මෙවර රනිල් ඉදිරිපත් වූවත් ජනාධිපතිවරණය ජය ගන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් තිබුණූ බවට තර්කයක් ඇත. ඒ සඳහා සුදුසු වටාපිටාවක් එදා පැවතිණි. එසේ වුණත් චන්දි‍්‍රකා ගත්තේ ජේ ආර්ගේ වැනි තිරණයකි. ඒ අනුව තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් ඉදිරිපත් කිරීමට ඕ සහාය දුන්නාය. ඒ තුළින් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගන්නා ලදී. ඒ මෛත්‍රීපාල හරහායි. එහෙත් රටට ඉන් යහපතක් වූයේ නැත. ජනතාව ප‍්‍රතික්ෂේප කළ ඩිලාන් පෙරේරා වැනි හො තක්කඩියන්ට නැවතත් බලයේ සිටීමට අවස්ථාව ලැබිණි. අනෙක් පැත්තෙන් ඞීල් සංස්කෘතිය හා එකිනෙකා කෙටවීමේ දේශපාලන මූලෝපායන් දැඩි ලෙස භාවිතා වන්නට පටන් ගත්තේය. මේ නිසා හොරුන් ඇල්ලීමවෙනුවට හොරා පොලිස් කිරීම සමාජ ගත විය.

මෛත්‍රීට සහාය දීම තුළින් රනිල්ට වැරදුණේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන ජාතික නායකයෙක් හෝ පැහැදිළි දේශපාලන හෝ ජාතික චින්තනයක් සහිත අයෙක් නොවීය. ඔහු ජනපි‍්‍රය දේශපාලන විශ්වාස කරන්නෙකි. මේ නිසා ඕනෑම කෙනෙකුට ඔහුව ඇන්දවීම එතරම් කජ්ජක් නොවේ. යමක් වෙනුවෙන් කැපවීමක් ඔහු තුළ නැත. මේ නිසා රනිල් අපේක්ෂා කළ වෙනස්කම් කිරීමට අද ඉතා අපහසු බවක් දැකිය හැක. ඒකාධිපති ජනාධිපති ක‍්‍රමය වෙනස් කර රටේ සියලූ ජාතීන්ට ගැලැපෙන ව්‍යවස්ථාවක් සැදීමට ඇති ඉඩකඩ ඇහිරෙමින් තිබේ. එදා චන්දි‍්‍රකාට වඩා අද මෛත්‍රී රනිල්ට අකුල් හෙලීම නිරීක්ෂණය කළ හැකියි. මෙය සැබෑවටම කාලකන්නි තත්ත්වයකි.

මෙය වෙනස් කිරීමට රනිල්ට හැකියාවක් නොතිබුණිද? රනිල් පැහැදිළිවම කළ යුතුව තිබුණේ තනි ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කළ පාර්ශ්වයන් බොහෝය. එහෙත් මෛත්‍රී සමග සංහිදියාවක් ඇතිව කටයුතු කිරීම උගහට බව ඔහු එදා තේරුම් ගත්තේ නැත. රනිල්ට නැතත් මෛත්‍රීට අනාගත දේශපාලන බලාපොරොත්තු තිබේ. අනෙක් පැත්තෙන් ඇමති මංඩලය 30 කට සීමා කිරීමේ දැඩි ප‍්‍රතිපත්තියකට යෑමට රනිල්ට නොහැකි වීම ඔහුගේ දුර්වල කමකි. මෛත්‍රී සමග කට විශ්වාසයට කටයුතු නොකර පැහැදිළි ගිවිසුමකට අනුව කටයුතු කෙළේ නම් අද පවතින තත්ත්වය අවම කර ගන්නට බොහෝ ඉඩ කඩ තිබිණි.

රනිල් කිට්ටුකර ගත් බොහෝ දෙනෙක් නුසුදුස්සෝය. නැති නම් ඞීල් කාරයන්ය. අගමැතිට අවනත නැති ඇමතිවරු සිටිති. නිලධාරීහු සිටිති. මෙයට හේතුවක් ඇත. ඒ රාජපක්ෂ කාලයේදී හොරකෑ බොහෝ දෙනෙක් නැවතත් රාජපක්ෂ යුගයක් බලාගෙන වැඩ කිරීමයි.

මේ නිසා අවසානයේ සිදුවී ඇත්තේ කුමක්ද? එකක් රනිල්ට වැරදීමයි. ඒ වැරදි හදා ගන්නට තවත් කල් තිබේ. ඒ සඳහා කවුරු තරහා වුවත් කළ යුතු වෙනස්කම් සහ ඉවත් කළ යුතු පිරිස් බොහෝය. ජනතාවට වැරදුණේ කොහොමද? රනිල්ගේ සහාය නිසා සහ රනිල්ගේ ඉල්ලීම මත පත්කර ගත් මෛත්‍රීපාල ජනතාවාදී පාලනයක් ගෙන යන්නට හැකියාවක් ඇත්තෙක් නොවේ. එසේ නොවන්නේ නම් ඔහු මේ වන විටත් තමන් විසින්ම ජනාධිපති තනතුර ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන විත් තිබිය යුතුවේ. මෛත්‍රී ලංකර ගත්තේ පරාජිත දේශපාලකයින් සහ පැන්ෂන් ගිය නිලධාරීන්ය. රටේ ලෝකයේ තතු කියවා දැනුමක් රැස්කරගෙන ඉදිරියට යන්නට මෛත්‍රී නොදනී. ඔහුට බියක් ඇත. නැවතත් කවදා හෝ රාජපක්ෂවරුන් පැමිණියොත් තමන්ට සහ තම පවුලට මුහුණ දීමට සිදුවන තත්ත්වය ගැන ඔහු කථා කරයි. මෙය සැබෑ නායකයෙක් තුළ නොතිබිය යුතු ගති ලක්ෂණයකි. ඔහු උමංදාවේ බියසුලූ රජු සිහි කරයි. ඒ රජු සිහිනෙන් පවා බිය වෙයි. මෙම තත්ත්වය තුළින් විශද වන්නේ රනිල් පමණක් නොව ජනතාවද පැරදී ඇති බවකි.

රනිල්ට මෙම තත්ත්වය වෙනස් කළ හැකියි. හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී රට කළ හැකි අය සමග එකතුව ආණ්ඩුවක් සාදාගැනීම ඉතා කාලෝචිතයි. එහිදී ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට ඉතා ඉක්මණින් විස`දුම් ඉදිරිපත් කළ යුතුවේ. එසේම ඉතා සීමිත ඇති මණ්ඩලයක් තුළ වැඩක් කළ හැකි අය මිස හොරුන් ඞීල් කාරයින් නොසිටිය යුතුවේ. ජාත්‍යන්තරය සමග යහපත් ලෙස කටයුතු කිරීමද ඉතා වැදගත්ය. ඒ සඳහා සුදුසුකම් ඇති පිරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ස්ථානගත කිරීම අතිශයින්ම වැදගත්වේ. මන්ද යත් දිගුකාලීන ආර්ථික ක්‍රියාවලියක් තුළ ජාත්‍යන්තරයෙන් ලබාගත යුතු සහාය අප‍්‍රමාණ අගයක් ගන්නා නිසායි. මේ තුළින් රනිල්ට බැහැ කියන සංකල්පය ජන මනසින් බැහැර කිරීමට මෙන්ම ජනතාව පරාජයෙන් බේරීමට හැකියාවද රනිල්ට ලැබේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*