පසුගිය ආණ්ඩුවේ දූෂණ ගැනත් කාර්යක්ෂමව හොයන්න හර්ෂගෙන් ඉල්ලීමක්


Harsha-de-Silva

පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති ලිපිගොනු අසු හතක් සඳහා කඩිනමින් නීතිමය උපදෙස් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමිනි.

එහිදි වැඩිදුරටත් පවසා සිටියේ,”රවි කරුණානායක මැතිතුමාට එල්ල වෙලා තියෙන්නේ චෝදනාවක් ඔහු නීතිය ඉදිරියේ වැරදිකරුවකු බවට පත්වෙලා නැහැ. නමුත් ඒ අවශ්‍ය ඉදිරි පරික්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දෙන්න තමයි ඇමැතිතුමා ඉල්ලා අස්වුණේ. මේක මීට පෙර අපේ සිදුවන දෙයක් නොවේ. මේ අලුත් සම්ප්‍රදායක් යහපාලන ආණ්ඩුවෙන් පටන්ගෙන තියෙනවා. පුද්ගලයා දෙස කුමන දෘෂ්ටි කෝණයකින් බැලුවත් අපිට පුළුවන් වෙන්න ඕනේ පිළිගන්න අලුත් ආණ්ඩුව අලුත් සම්ප්‍රදායක් බිහිකළ බව. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයත් මින් විදහා දැක්වෙනවා.”

“මීට කලින් තිබුණු ආණ්ඩු අති විශාල දූෂණ , මිනිමැරුම් හා හොරකම් සිදු වු බව අලුතින් කියන්න ඕනේ දෙයක් නොවේ. අපි මහා බැංකුව ගම්මු . ඇලොසියස් ගම්මු . එතකොට මම මේ සිරිකොත මූලස්ථානයේ සිටම සාකච්ඡා කළා අජිත් නිවාඩ් කබ්රාල්ලා එක්ක එකතු වෙල මේ සොරකම් කෙළේ කියලා. කොහොමද කොටස් වෙළෙඳ පොළේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කෙළේ කියා. නමුත් එදා අපිට බැරි වුණා මහා බැංකුව පාර්ලිමේන්තුවට කැඳවන්න පවා. මේක රට දැන ගත්තොත් පුදුම හිතෙයි.අර්ථ සාධක අරමුදල පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කරක සභාවට පැමිණියේ 2006න් පසු 2012 වසර හයකට පසුයි. පාර්ලිමේන්තුවට මේ ගැන උනන්දුවක් තිබුණේත් නැහැ. විපක්ෂයට මෙය ක්‍රියාත්මක කර ගන්න හැකි වුණෙත් නැහැ. මොකද සියලු කමිටු පාලනය වුණේ ආණ්ඩුවේ බලවත් ඇමැතිවරු යටතේ. ඒත් සමගම හෙජින් ගිවිසුම ගැන ග්‍රීක් බොන්ඩ් ගිවිසුම ගැන හම්බන්තොට පැවැති පොදු රාජ්‍ය මණ්ඬලීය සමුළුව ගැන විශාල දූෂණ සිදු වු බව අපි දන්නවා.

මේවා ගැන විපක්ෂය කතා කළා. නමුත් කිසිම විදියකට මේ ගැන ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට මිනිමැරුම් ගන්න. තාජුඩීන්ගේ මිනිමැරුම ගන්න. එමේ අනතුරක් කියලා ‍ආණ්ඩුව එය සමාජ ගත කරන්න උත්සහ කළා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් ගැහැණු සීයක් දූෂණය කළා කියලා පාටි එකක් දැම්මා. ඒ අය ගැන හරි උජාරුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කතා කළා. අපි මේවා ගැන සොයා බලන්න යන විට අපිට වෙඩි තියන්න පිටිපස්සෙන්න එළවාගෙන ආවා. සපුගස්කන්දෙදි මන්ත්‍රීවරුන්ට ගැහැව්වා. අපේ වාහනවල වීදුරු කුඩු කළා. ඒ කිසිම දෙයකට කිසිම විදියකට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවාට මැති ඇමැතිවරු පවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වත් ඉල්ලා අස්වුණේ නැහැ එදා.” මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*